කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය
වයඹ පළාතේ පුත්තලම දිස්ත්‍රික්කයේ පිහිටා ඇති කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය වර්ග ප්‍රමාණයෙන් වර්ග කිලෝමීටර 259ක් වන අතර, අර්ධද්වීපයක් ලෙස පිහිටා ඇත. උතුරින් හා බටහිරින් ඉන්දියන් සාගරයෙන් ද, නැගෙනහිරින් පුත්තලම කලපුවෙන් ද, දකුණින් පුත්තලම හා ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයෙන්ද සීමා වෙයි. කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 2කින් සැදුම්ලත් වන අතර, කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් 31ක් හා මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ග්‍රාම නිළධාරී වසම් 17කින් යුක්ත මුළු ග්‍රාම නිළධාරී වසම් 48කින් යුක්ත වූ ප්‍රදේශයකි.
ක්‍රි.පූ. 5 වන සියවසේදී විජය රජු ඇතුළු ඉන්දු ආර්යයන් “කදම්භ නදී” හෙවත් “මල්වතු ඔය” ඔස්සේ පැමිණ ලංකාවේ “අරවි ආරු” හෙවත් “අරිප්පු” යන කල්පිටියට ආසන්න ප්‍රදේශයකින්ද ලංකාවට ගොඩ බසින ලදී. එසේම විටින් විට ඉන්දු ආර්යයන් ලංකාවට ගොඩ බසින ලද ස්ථානයක් ලෙසත්, ලංකාව හා මැද පෙරදිග රටවල් වෙළදාම සදහා සම්බන්ධ වූ වරායක් ලෙසත් අධිරාජ්‍යවාදී යුගයට පෙර කාලයේදී කල්පිටිය වරාය හා කල්පිටිය නගරය වැදගත් වී ඇත.
පෘතුගීසි යුගයේදී එනම් 1505 වර්ෂයෙන් පසුව කල්පිටිය නගරය පෘතුගීසීන් යටතේ පාලනය වූ අතර, අතීතයේ අරාබි රටවල් හා සම්බන්ධ වාණිජ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කර ඇත. ලංදේසි යුගයේදී, එනම් 1640-1796 කාල පරිච්ඡේදයේදී ඔිලන්ද ජාතිකයන් මෙහි පාලනය තහවුරු කිරීමෙන් පසුව කල්පිටිය නගරය සංවර්ධනය කිරීමේ අරමුණින් ආරක්ෂාව හා වාණිජ අවශ්‍යතාවයන් සදහා ශක්තිමත් බලකොටුවක් ඉදිකිරීම සිදු කෙරුණු අතර, ප්‍රවාහනය අරමුණු කර ගනිමින් ලන්දේසි ඇල තනන ලදී. පසුව බ්‍රිතාන්‍ය යුගය වන 1796-1948 කාලයේදී කල්පිටිය ප්‍රධාන හමුදා මධ්‍යස්ථානයක් ලෙසත්, කරවල හා මත්ස්‍ය නිෂ්පාදන බෙදාහැරීමේ මධ්‍යස්ථානයක් ලෙසත් සංවර්ධනය කරන ලදී.
කල්පිටිය ප්‍රදේශය පවතින සම්පත් තුළින් හා ආර්ථික මූලාශ්‍ර තුලින් සංවර්ධනය කළ හැකි විභවතාවයක් සහිත කලාපයකි. ධීවර කර්මාන්තය මගින් 17%ක් ද, කෘෂිකර්මාන්තය අංශයෙන් 04% ක්ද, සංචාරක කර්මාන්තය තුළින් 09% ක්ද, බලශක්ති උත්පාදන කර්මාන්තය තුළින් 05%ක් ද, ලුණු නිෂ්පාදනයෙන් 65%ක දායකත්වයක්ද ලබා දෙමින් ජාතික ආර්ථිකයට ශක්තියක් වේ.
කල්පිටිය ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය ස්වභාවික පරිසර පද්ධතිය, මුහුදු පරිසර පද්ධතිය හා දූපත් පරිසර පද්ධතියකින් සැදුම්ලත් භූමියක් ලෙස බහු ජෛව විවිධත්වයෙන් යුක්ත වූ පරිසර පද්ධතියකින් සමන්විත වේ. කළපු පරිසර පද්ධතියට ආවේණික වූ කඩොලාන හා ඒ ආශ්‍රිත ජීවීන්, උරගයින්, කුරුළු විශේෂ හා මත්ස්‍ය විශේෂයන්ද වෘක්ෂලතා පද්ධතියකින් ද සමන්විත වන අතර ඒ ආශ්‍රිත ලුණු ලේවායන් ආශ්‍රිත වගුරු බිම් පද්ධති හා තෙත්බිම් ආශ්‍රිතව විශේෂ වෘක්ෂලතාවන් හා සත්ත්ව විශේෂයන්ගෙන් යුතු කලාපයන්ද බහුල වේ. ඊට අමතරව මුහුදු ජෛව පද්ධතියෙහි පුළුල් වෙරළ තීරයත් වැලි කදු ප්‍රදේශ හා ඒ ආශ්‍රිත පැළෑටි වර්ග හා සත්ත්ව විශේෂයන්ද, මුහුදු තෘණ වර්ග කොරල් පර හා ඒ ආශ්‍රිත මුහුදු විශේෂ සත්ත්වයින් හා මත්ස්‍ය විශේෂ වලින් ගහණ පරිසර පද්ධතියකින් සැදුම්ලත් වේ.